Monday, May 18, 2015

මහරජ ගැමුණු

මහරජ ගැමුණු චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්නයකි. මේ ඒ පිළිබද කෙටි සටහනක්.....
"සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන...
අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්...
සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්...
රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්...
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණලු කැඳවව්..."


මෙහි සදහන් වන්නේ "අරණ්‍යානි" නම් දෙව්දුවක් පිළිබදවය. වේද යුගයේ, එනම් මිනිසුන් ගස්, වැල්, ගල්, සූර්යා, අදහමින් සිටි යුගයටත් පෙර සිට පැවතෙන පූජනීය දෙව්දුවකි "අරණ්‍යානි". ඇය මුළුමහත් මනුෂ්‍යයාගේම විඩාව නිවූ ශාන්තියක් ගෙන දුන් දෙව්දුවකි. ජයන්ත චන්ද්‍රසිරියන් ගැමුණු කුමාරයා මේ පොළවට දුන් නිදහස ගැබ් වූ මිහිරියාව "අරණ්‍යානි" දෙව්දුවත් දුන්නා යැයි සිතන්නට ඇත....
මෙහි ඇතුළත් ප්‍රබල රූපක නිසාවෙන් පදයෙන් පදය අර්ථයක් දිය නොහැක. රූපක යනු නිශ්චිත අරුතක් දිය නොහැකි අරුත් සමුදායකි.
"දහවල" ඉතා කටුකය, විඩාබරය. නමුත් මේ කටුක බව රාත්‍රිය විසින් නිවා දමයි. සිසිලස ගෙනෙමින් මිනිසුන්ට ශාන්තිය කැදවයි. මෙය ගෙන එන්නේ "අරණ්‍යානි" දෙව්දුව විසිනි. "ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන" යන්නෙන් දහවලේ කටුක බව, විඩාපත් බව පහදයි. "සඳපායන්නේ සීතල අරගෙන" කියා දෙන්නේ අරණ්‍යානි කැදවනු ලබන ශාන්තිය, සුවය ඇතුළත් රාත්‍රියේ මිහිරියාවයි. මිනිසුන්ගේ දුක්බර දිවිය, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අරණ්‍යානි දෙව්දුව අසා කදුළු සලමින් ශෝක වන බව. "අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව" පද්‍යයෙන් කියා පායි.
මෙම සියලු දුක් නිමා කරමින් මිනිසුන්ගේ සුවය උදෙසා දෙවියන්ටත් හොරෙන් රැය ගෙනත් දෙන බව "අහසට කොඳුරා රහස් කියව්" පද්‍යයෙන් පසක් කරයි. අහසේ සිටින්නේ දෙවිවරුන්ය. අහසට කොදුරාම රහසේ රැය ගෙන දෙයි.
සෙවනැලි යනු නිහඩ බවේ සංකේතයයි. රහසක් එම නිහඩ බව තීව්‍ර කරයි. එම නිහැඩියාව මුමුණන විට පුදුමාකාර නිශ්චල බවක්, සෞම්‍ය බවක් රාත්‍රිය ගෙන දෙයි. මෙය ප්‍රබල රූපකයකි.
##### රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.... #####
දැන් උදා වීමට නියමිත දහවලය. මෙය ගෙන එන්නේ ඇගේ පුතුය. දෙව්දුව රණ හන්සයෙක් මෙන් නික්ම යන්නේ ඈ රැක ගත් මුනිවත නොහොත් ඒ සුන්දර නිහැඩියාව සුරකින්නයි පුතුට කියමින්ය. කල්‍යාණ කර්ම, එනම් ඈ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ටත් හොරෙන් ගෙන දුන් ශාන්තිය, හොද ක්‍රියාවන්, යහපත් කර්මයන්, සිහි කරන්නැයි පුතුට පවසයි.
මේ සියල්ල සිහි කරමින් නව ආරම්භයක්, අළුත් ආලෝකයක්, නැවුම් ජීවිතයක්, කැදවන්න මේ කාලයයි දෙව් පුතුනි! නමුත් ඇගේ මුනිවත සුරකින්න, ඇගේ හොද ක්‍රියා රැක ගන්න, අළුත් ආරම්භයක් ලබා දෙන්න......
මෙය ගැමුණු නිරිදුන් ගෙන දුන් සම්ප්‍රදාය සුරකින්න අපට කල කැදවීමක්දැයි අප නොදනිමු... මෙය විහාර මහා දේවියගේ කල්‍යාණ කර්ම, ඇගේ පුණ්‍යක්‍රියාවන් තුළින් ගැමුණු කුමරුට අරුණලු කැදවීමට ලබා දුන් පන්නරයක්දැයි නොදනිමු... ගිනිජාලා සහිත වර්තමානයක, සීතල තුළින් සද සිසිලස ගෙන දෙන්නට තවත් "අරණ්‍යානි" දෙව්දුවකගේ පැමිණීමක්දැයි අප නොදනිමු...
තීරණය ඔබට බාරය!!
උපුටා ගැනීමකි
https://www.facebook.com/SinhalaBuddhist?fref=nf
සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අර්ථදැක්වීමක් ඇසුරිනි.
Pasindu L Rathnasekara

1 comment:

  1. always loved this song. never knew the meaning about "අරණ්‍යානි". beautiful. - Kasun

    ReplyDelete